කිසිම මාධ්‍යයකට බලපෑම් කරන්නේ නෑ: අපි මාධ්‍ය නිදහස උපරිමව තහවුරු කර තිබෙනවා
ලේක්හවුස් ඇකඩමියේ සිසුන්ට ඩිප්ලෝමා හා සහතිකපත්‍ර පිරිනමමින් ජනමාධ්‍ය ඇමැති කියයි

සමාජයට හානි නොවන ඕනෑම දෙයක් ලිවීමේ නිදහස මාධ්‍යවේදීන්ට හිමියි
ලේක්හවුස් ඇතුළු සියලුම රාජ්‍ය මාධ්‍ය ආයතන මේ වනවිට ලාභ ලබන තත්ත්වයට
වත්මන් රජය යටතේ කිසිම මාධ්‍යයකට අනිසි බලපෑම් සිදු නොවන බව ද මාධ්‍ය නිදහස උපරිම අයුරින් තහවුරු කිරීමට කටයුතු කර ඇති බව ද ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
ලේක්හවුස් ඇකඩමිය 2025 වසර වෙනුවෙන් සංවිධාන කළ මාධ්‍ය පාඨමාලා හැදෑරූ සිසුන්ට ඩිප්ලෝමා හා සහතිකපත්‍ර ප්රදානය කිරීමේ උත්සවයට
එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීවේය.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පසුගියදා (30) පැවති මේ උත්සවයේදී මාධ්‍ය සන්නිවේදන (සිංහල මාධ්‍ය), මාධ්‍ය සන්නිවේදන (දෙමළ මාධ්‍ය), ඩිජිටල් මාධ්‍යවේදී හා රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන් නිවේදන යන ඩිප්ලෝමා පාඨමාලා මෙන්ම ඡායාරූපකරණය පිළිබඳ උසස් සහතිකපත්‍ර පාඨමාලා සාර්ථක ලෙස හදාරා අවසන් කළ සිසුන් 79කට ඩිප්ලෝමා හා සහතිකපත්‍ර පිරිනැමිණි.
එහිදී ඇමැතිවරයා මෙසේ ද කීවේය.
“ලේක්හවුස් ඇතුළු සියලුම රාජ්‍ය මාධ්‍ය ආයතන මේ වනවිට ලාභ ලබන තත්ත්වයට පත්වී තිබෙනවා. ලේක්හවුස් ආයතනය යනු හුදෙක් පුවත්පත් ආයතනයක්ම පමණක් නොව, පුවත්පත් කලාවේ ඉහළම ස්ථානයක තිබෙන පත්තර කලාවේ මහගෙදරයි. අතීතය දෙස බැලීමේදී මේ වනවිට සමාජයට හානි නොවන ආකාරයට ඕනෑම දෙයක් ලිවීමේ නිදහස මාධ්‍යවේදීන්ට තිබෙනවා. ආරම්භ වී වැසී යන පුවත්පත් ආයතන මධ්‍යයේ දහසක් බාධක මැද වුවත් ලේක්හවුස් ආයතනය ඊට හිමි ස්ථානයේ රැඳී සිටිනවා. මෙරට මාධ්‍ය ක්ෂේත්රය වෙනුවෙන් ලේක්හවුස් ආයතනය විසින් ඉටු කරන සේවය ඇගයීමටත් අද ඩිප්ලෝමා ලබන දරුවන්ට සුභ පතන්නත් මෙය අවස්ථාවක් කර ගන්නවා”.
උත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය කළ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති මහාචාර්ය සීතා පී. බණ්ඩාර මහත්මිය මෙසේ පැවසුවාය.
“ලේක්හවුස් ඇකඩමිය සංවිධාන කළ පාඨමාලා සඳහා ඉහළම පිළිගැනීමක් හිමිවෙනවා. උත්සාහය සහ උනන්දුව තිබුණොත් ඕනෑම අයකුට මාධ්‍යකරණය කළ හැකියි කියා සිතුවත් එය ඉතා ගැඹුරු, ඉතා සියුම් සහ වගකීම්සහගත වෘත්තියක්. හැකියාවන්ගෙන් සහ දක්ෂතාවලින් පිරිපුන් පිරිසක් ලෝකයේ සිටිනවා. සහතිකයට පමණක් සීමා නොවී ප්‍රායෝගිකව කටයුතු කළ යුතුයි. විශ්වවිද්‍යාලයන්හි පාඨමාලා පැවැත්වීමේදී න්‍යායාත්මක දැනුම ලබාදීමට පමණක් සීමා වුවද ලේක්හවුස් ඇකඩමිය පාඨමාලා මෙහෙයවීමේදී ප්‍රායෝගික පුහුණුවීම් සඳහා සුවිශේෂී වූ අවධානයක් යොමු කිරීම ඊට හේතුවයි.
“ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර යාපා මහතා:-
ලේක්හවුස් ඇකඩමිය සංවිධාන කළ පාඨමාලාවලට ඉහළ ප්‍රතිචාර තිබෙනවා. මේ පාඨමාලා හැදෑරීමටත් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට තරුණ තරුණියන් ලේක්හවුස් ඇකඩමිය වෙත එනවා. සෑම පාඨමාලාවක්ම න්‍යායාත්මක දැනුමට පමණක් සීමා නොවී ප්‍රායෝගිකව පුහුණුවීම් හා දැනුමද ලබා දෙනවා. පාඨමාලා හැදැරූ සිසුන් පිරිසකට ලේක්හවුස් ආයතනය විසින් මේ වන විටත් රැකියා ලබාදීමට කටයුතු කර තිබෙනවා.” ලේක්හවුස් ආයතනය සමඟ සම්බන්ධව කටයුතු කිරීමට පාඨමාලා හැදෑරූ සියලුම විද්‍යාර්ථීන්ට අවස්ථාව ඇති බව ද හෙතෙම අවධාරණය කළේය.
ඩිප්ලෝමා සහතික හිමි කරගත් විද්‍යාර්ථීන් වෙනුවෙන් අෂානි මංජරී වන්නිනායක, රොෂෙල් ප්‍රනාන්දු, පාරින්ද්‍යා ගුණදාස, ජනක රණසිංහ හා චන්ද්‍රිකා නිරෝෂන් යන අය අදහස් දැක් වූ අතර ලේක්හවුස් ඇකඩමිය වෙනුවෙන් එහි පාඨමාලා සම්බන්ධීකාරක එරන්ද එදිරිමාන්න ස්තූති කතාව කළේය.
ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර, ලේක්හවුස් ආයතනයේ සභාපති ගාමිණි වරුෂමාන, කර්තෘ මණ්ඩල අධ්යක්ෂ, සිසිර යාපා, මෙහෙයුම් අධ්යක්ෂ චාමර පීරිස්, නීති අධ්යක්ෂ නීතිඥ චාමර නානායක්කාරවසම්, මුදල් අධ්යක්ෂ චන්න කෙවිටියාගල, සාමාන්‍යාධිකාරි සුමිත් කොතලාවල, සමාගම් ලේකම් සුදර්ශි හේවාවසම්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අලෙවි) චින්තක ප්‍රසන්න යාපා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) ඩී.එම් ධනසේන, ප්‍රධාන පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරු, මාධ්‍යෙව්දීන්, ආයතන සේවකයෝ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.








