ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය විසින් සංවිධාන කරනු ලබන මාධ්‍ය සන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාවේ තුන්වැනි ශිෂ්‍ය කණ්ඩායම සඳහා හා මාධ්‍ය සන්නිවේදන (දමිළ මාධ්‍ය) ඩිප්ලෝමා පාඨමාලාවේ පළමු ශිෂ්‍ය කණ්ඩායම සඳහා අධ්‍යයන කටයුතු සමාරම්භය (15) ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේදී සිදු විය.
මෙවරත් මෙම ජනමාධ්‍ය පාඨමාලා හැදෑරීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක් සහභාගි වී සිටීම විශේෂත්වයකි. ඒ පිරිස අතර උසස්පෙළ විභාගයට පෙනී සිටි සිසුන්, මේ වන විට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන්, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය කරන සිසුන් මෙන්ම මාධ්‍ය පිළිබඳව විධිමත් හැදෑරීමක් බලාපොරොත්තුවෙන් පාඨමාලාව හා සම්බන්ධ වූ සිසුහුද වෙති.
මීට පෙර ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය විසින් සංවිධාන කළ ඩිප්ලෝමා පාඨමාලා හදාරා සාර්ථක ලෙස අවසන් කළ සිසු සිසුවියෝ කීප දෙනෙක්ද මේ අවස්ථාවට සහභාගි වූ අතර, ඔවුහු තම පාඨමාලා කාලය තුළ ලැබූ දැනුම, අවබෝධය, පාඨමාලා හැදෑරීම නිසා ලබා ගත් අවස්ථා ආදිය පිළිබඳවද නව ශිෂ්‍ය කණ්ඩායම්වල සිසු සිසුවියන් දැනුවත් කිරීමට කටයුතු කළහ. එමෙන්ම මෙහිදී ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීමට ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය සමඟ මෙවර සම්බන්ධ වූ පිරිස්ද මෙහිදී තම අදහස් දක්වමින් රාජ්‍ය මාධ්‍ය ආයතනයක් ලෙස ලේක්හවුස් ආයතනයට දේශීය හා විදේශීයව ඇති සුවිශේෂ වූ පිළිගැනීම, පාඨමාලාවේ අන්තර්ගතය, න්‍යායාත්මක දේශන සඳහා පමණක් සීමා නොවී ප්‍රායෝගික අධ්‍යයනය හා පුහුණුවීම් සඳහා සලසන අවස්ථා,පාඨමාලාවේ දේශන පැවැත්වීමට සම්බන්ධව වන විද්වත් ආචාර්ය මණ්ඩලය, දරාගත හැකි ගාස්තුවක් පාඨමාලාවට හඳුන්වා දී තිබීම, එම ගාස්තුද නම්‍යශීලි පහසු වාරික ලෙස ගෙවීමට දී ඇති අවස්ථාව හා ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේ ඩිප්ලෝමා සහතික පත්‍රයට ලැබෙන පිළිගැනීම යන හේතු මත තමන් මේ පාඨමාලාව තෝරාගෙන මාධ්‍ය ක්ෂේත්රයේ දිගු ගමනක් යෑමට බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළහ.
මෙවර පාඨමාලාවල විද්වත් ආචාර්ය මණ්ඩලය ලෙස සම්පත් දායකත්වය දක්වන දිනමිණ ප්‍රධාන කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ප්‍රදීප් දසනායක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි අරුණ ගුණරත්න, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි චමින්ද ගමගේ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ටෙනිසන් එදිරිසිංහ හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ජේ. යෝගරාජ් මහත්වරුද මාධ්‍ය සන්නිවේදන සිංහල හා දමිළ මාධ්‍ය ඩිප්ලෝමා පාඨමාලාවල පාඨමාලා සැලැස්ම, විෂය නිර්දේශය හා ප්‍රායෝගික පුහුණුවීම් සඳහා ලැබෙන අවස්ථා සම්බන්ධයෙන් සිසුසිසුවියන් දැනුවත් කරමින් මෙහිදී දේශන කීපයක් පැවැත්වූහ.
ආරම්භ වූ නව පාඨමාලා සඳහා සුබ පැතුම් පිරිනමමින් ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි චාමර ජනරාජ් පීරිස් හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (දැන්වීම්) චින්තක ප්‍රසන්න යාපා මහත්වරුද අදහස් දැක්වූහ.
ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය විසින් ආරම්භ කරන ලද නව පාඨමාලාවල අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණු මේ වැඩසටහන එම ඇකඩමියේ පාඨමාලා සම්බන්ධිකාරක (වැ.බ.) එරන්ද එදිරිමාන්න මහතා විසින් මෙහෙයවනු ලැබූ අතර, ස්තුති කතාව උපදේශක කර්තෘ මනෝලි සුබසිංහ මහත්මිය විසින් සිදු කෙරිණි.