‘ධර්ම රශ්මි’ පොසොන් කලාපයේ ලේක්හවුස් කූඩු තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනමමින් ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන කියයි
හෝමාගම ‘ධර්ම රශ්මි’ පොසොන් කලාපය ක්‍රියාත්මක කරනු ලැබුවේ මිහින්තලයට අනුරාධපුරයට යෑමට නොහැකි බොහෝ පිරිස්වලට පොසොන් පණිවුඩය දීමට යැයි ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ ලේක්හවුස් ආයතනයේ පැවති ‘ධර්ම රශ්මි’ පොසොන් කලාපයේ කූඩු තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
මෙහිදී රුපියල් ලක්ෂ 10ක පළමු ත්‍යාගය හිමිවූ එස්. එල්. සනත් බන්දු, රුපියල් ලක්ෂ 5ක දෙවන ත්‍යාගය හිමිවූ ඩබ්ලිව්. විසල් ශ්‍රී බිනර සහ රුපියල් ලක්ෂ 2ක තෙවන ත්‍යාගය හිමිවූ කේ. ඉනුදීප යෝගචන්ද්‍ර මහත්වරුන් විසින් තමන්ට හිමි මුදල් චෙක්පත් ලබා ගැනීම මෙහිදී සිදු විය.
මෙහිදී රුපියල් 50,000 සහ රුපියල් 25,000 මුදල් ත්‍යාග ජයග්‍රාහකයන් විසි දෙදෙනෙක් හිමි කර ගත් අතර, රත්මලාන, ගම්පහ, මට්ටක්කුලිය, හෝමාගම, හොරණ, කළුතර ඩිපෝවලට මෙන්ම වටරැක බන්ධනාගාර ශ්‍රී ලංකා පාබළ හමුදාව, යුද උපකරණ බළකාය විසින් ද ත්‍යාග හිමිකරගැනීම විශේෂත්වයකි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කියා සිටියේය.
“මේ වැදගත් අවස්ථාවට එක්වන ඔබ සැම ආදරයෙන් සිහිපත් කරනවා. ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කළ මහින්දාගමනයෙන් පසුව ඇති වූ ආගමික, සාමාජික සහ සංස්කෘතික පුනර්ජීවනය පිළිබඳ විශේෂයෙන් අනාගත පරම්පරාවට යම් කිසි අවබෝධයක් සහ අදහසක් දීම පෙරදැරි කරගෙන මිහින්තලයට සහ අනුරාධපුරයට යෑමට නොහැකි බොහෝ පිරිස්වලට පොසොන් පණිවුඩය දීමට පොසොන් කලාපයක් නිර්මාණය කිරීමේ අදහසින් මෙය ආරම්භ කළා. ජනමාධ්‍ය විෂය භාර ඇමැතිවරයා ලෙස මට විශාල වගකීමක් පැවරී තිබෙනවා. ඒ මේ සංස්කෘතික දායාද විශේෂයෙන් තරුණ සහ අනාගත පරම්පරාවට සන්නිවේදනය කිරීම. ඒ සඳහා සුවිශේෂි කාර්යභාරයක් මාධ්‍ය ආයතනවලින් සිදු විය යුතුයි කියලා මම සිතනවා. මාධ්‍ය ආයතන හිමිකරුවන් සහ ප්‍රධානීන් එවැනි දැක්මක් ඇති පිරිසක් කියා මා සිතනවා.
ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන මහතා ජාතික නිදහස් සටනේදී බෞද්ධාගමික පුනර්ජීවනයට ලේක්හවුස් ආයතනයෙන් විශාල දායකත්වයක් දුන්නා. ඒ නිසා තමයි පසු කාලයේදීත් මිහින්තලා ආලෝක පූජාවටත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බෞද්ධ අංශ පවත්වාගෙන යෑමටත් පුද්ගලික ධන පරිත්‍යාග කරමින් විජයවර්ධන පවුල කටයුතු කර තිබෙන්නේ. ඒ
වගේම තමයි, ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය මෙවැනි දේවල්වලට දායකත්වය සැපයීමට එකතු වන්නේ. යහපත් දේ සඳහා එකතු විය හැකි බොහෝ දෙනා එකතු කරගෙන තමයි මා සංවිධායකත්වය දරන හෝමාගම මැතිවරණ කොට්ඨාසය පදනම් කරගනිමින් පොසොන් කලාපයක් කිරීමට තීරණය කළේ. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ මුනුපුරෙක් වන දිවංගත ගාමිණී ජයසූරිය මහතා මගේ මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් සිංහල බෞද්ධ ජන නායකයෙක් ලෙස බෞද්ධ පුනර්ජීවනයට යම් යම් ප්‍රතිපත්ති හඳුන්වා දී කටයුතු කළා. මේ ප්‍රදේශයේ මත්පැන් තුරන් කිරීමට සටන් කළා. ඊට පසුව ඇති වූ වෙනස්කම් නිසා පසුකාලීනව මා අධ්‍යාපන ඇමැති ධුරය දරන කාලයේ මේ කලාපය අධ්‍යාපන පුරවරයක් ලෙස වෙනස් කළා.
කොළඹ කේන්ද්‍රීය මහා සුවිසල් පාසල් තිබෙන විට අපේ සුන්දර ගම්මානයේ ආසියාවේ විශාලතම ද්විතීයික පාසල විදිහට මහින්ද රාජපක්ෂ විදුහල මේ කලාපයේ ඉදි කළා. දරුවන් 7000ක්, ගුරුවරුන් 300ක් උගන්වන රජයේ ආදර්ශ පාසලක්. උදේ 7.30ට පාසල් ආරම්භවී සවස 3.30ට පාසල නිම වෙනවා. කැන්ටින් නෑ. මවුපියන් දරුවන්ට බත් පැකට් දෙකක් කන්න හදලා දෙන්න ඕනෙ. සිකුරාදාට ජාතික ඇඳුම අඳින්න ඕනෙ. පෝය දවසට බෞද්ධ ළමයින් සිල් ගන්න ඕනෙ. අනිත් ළමයි උදව් කරන්න ඕනෙ. ඒවා කරනවාද කියලා ගුරුවරුන් බලන්න ඕනෙ. රටේ වැඩිම දරුවන් එනම් 768ක් සාමාන්‍ය පෙළට පෙනී සිටියේ මේ පාසලෙන්. ඒ සියලු දෙනාම උසස් පෙළට පෙනී සිටියා. එක් අයෙක්වත් අසමත් වුණේ නෑ. ඒ නිසා තමයි මම කිව්වේ මේකෙන් මුදල් ඉතිරි වුණොත් ඒ මුදල් පාසල් සංවර්ධනයට පරිත්‍යාග කරන්න කියලා. මාසිකව මගේ වැටුපෙන් ස්ථාවර නියෝගයක් අනුව සෑම මසකම මුදලක් යනවා පාසල් සංවර්ධන අරමුදලට. මගේ දරුවෙක්වත් කවුරුවත් මේ පාසලේ ඉගෙන ගන්නේ නෑ. ඒ අයත් සම්ප්රදාය අනුව කොළඹ ආ අය. පාසලේ අල්ලපු වැටේ හරිත සරසවිය පිහිටුවා තිබෙනවා. 13,000ක් එහි අධ්‍යයන කටයුතු කරනවා. ඊට ඉදිරිපිට ජයවර්ධනපුර විශ්වවිද්‍යායාලයේ තාක්ෂණ පීඨය තිබෙනවා. තවත් අක්කර 25ක කොළඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය තිබෙනවා. වෙළෙඳ විෂය භාර ඇමැතිවරයා ලෙස කොළඹින් පිටතට ගෙන ගිය කිරුම් මිණුම් දෙපාර්තමේන්තුවත් එහි තිබෙනවා. ටෙලිකොම් දත්ත ගබඩාව, පෙළ පොත් ගබඩා සංකීර්ණය, ජාතික ආරක්ෂාව දෙන පර්යේෂණ හා සංවර්ධන ඒකකය, බයෝ ටෙක් ෆාම් එකක්, හෙලීස් සමාගමේ ඖෂධ නිෂ්පාදනාගාරයක් ලෙස අක්කර 400ක් සම්පූර්ණයෙන් අධ්‍යාපන නගරයක් ලෙස පිහිටා තිබෙනවා.
ප්‍රඥාව සහ බැඳුණු පුරවරයක්. ප්‍රඥා බන්දු පුරවරයක් එහි නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා අද ඒ පළාත්වල ජනයා ජීවනෝපාය සලසා ගන්නවා කාමර 500ක් විතර පිට පළාත්වලින් එන දරුවන්ට කුලියට දීලා. ත්‍රිරෝද රථ සහ අනෙකුත් වාහන ව්‍යාපාර ස්ථාන විශාල ප්‍රමාණයක් පිහිටුවා තිබෙනවා. අද උදේ 7.30ට පාරක් කාපට් කරන අවස්ථාවකට සහභාගී වුණා. මේ පළාත සම්පූර්ණයෙන්ම දියුණුවට පත්ව තිබෙනවා. පාලි සහ බෞද්ධ විශ්වවිද්‍යාලය, දියගම මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ අංශය, දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය ඇතුළු ස්ථාන එම කලාපයේ පිහිටා තිබෙනවා. නුදුරේදීම ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට කටයුතු කරමින් සිටිනවා. මත්තේගොඩ ජයවර්ධනපුර ඉංජිනේරු පීඨ පිහිටුවා තිබෙනවා. මේ කලාපයේ සෑම මනුස්සයකුටම සැකෙන් සහ බියෙන් තොරව ජීවත් වීමට හැකි අවස්ථාව සලසා තිබෙනවා. මේ නිසයි කිලෝමීටර් 13ක පොසොන් කලාපය ඇති කළේ. යුද හමුදාව නැත්නම් මේ දේ අපට කරන්න බෑ.
පනාගොඩ කඳවුර ආශ්‍රිතව රණවිරුවන් විශාල සංඛ්‍යාවක් යුද්ධයෙන් මිය ගියා. ඒ රණවිරුවන්ට පින් පිණිසයි ඒ අය අපට දායකත්වය දුන්නේ. ගොඩක් පරිත්‍යාගශීලීන් අපට උදව් කළා. ඇතැම් අය නම කියන්න එපා කිව්වා. මම විනිශ්චය මණ්ඩලයට ආරාධනා කළා ම මේ සියලු දෙනා ස්වේච්ඡාවෙන් තම කාලය, ශ්‍රමය මිඩංගු කරමින් දායකත්වය දුන්නා. දරුවන්ට වෙනම වෙසක් කූඩු තරගයක් පැවැත්වූවා. ඒකෙ පළමු ස්ථානයට ලක්ෂ පහක්, දෙවන ස්ථානයට ලක්ෂ තුනක් හමාරක්, තෙවන ස්ථානයට ලක්ෂ දෙකක් බැගින් ත්‍යාග මුදල් දුන්නා. මේ කූඩු හදන්න නිර්මාණකරුවන්ට දිරිගැන්වීමක් දෙන්න ඕනෙ. ඒ නිසා මම තීරණය කළා මේ දේ කරන්න. බයිසිකල් රේස්වලට විශාල මුදලක් දෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයන්ට විශාල මුදල් ත්‍යාග දෙනවා. ලංකා ඉතිහාසයේ මෙවැනි කූඩු තරගයක් පැවැත්වූ පළමු අවස්ථාවයි මේ. පළමු ත්‍යාගය රුපියල් දස ලක්ෂයක්. දෙවන ත්‍යාගය රුපියල් ලක්ෂ පහක්. තෙවන ත්‍යාගය රුපියල් ලක්ෂ දෙකක්. 4 වැනි ස්ථානයේ සිට 14 වැනි ස්ථානය දක්වා රුපියල් පනස් දහසකුත්, 15 වැනි ස්ථානයේ සිට 25 වැනි ස්ථානය දක්වා රුපියල් විසි පන් දහසකුත් දෙනවා. ලංකා ඉතිහාසයේ දෙන වැඩිම ත්‍යාග මුදල දීමේ කාර්යභාරය අද ඉටු කරනවා. මේ සඳහා ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය, කර්තෘ මණ්ඩල ප්‍රධානීන් විශාල වෙහෙසක් ගත්තා. හුඟක් අය ඇහුවා මුදල් හොයා ගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ කියලා.
මේ ත්‍යාග මුදලට වඩා වැඩි මුදලක් ලේක්හවුස් ආයතනයෙන් ලැබී තියෙනවා. පූර්ව ප්‍රචාරණ කටයුතු කරමින් විනිශ්චය දෙමින් වෙහෙසී කටයුතු කළ සැමට පින් අනුමෝදන් කරනවා. සෑම වර්ෂයකදීම ලේක්හවුසියත් සෑම රාජ්‍ය ආයතනයක්ම එකතු කරගෙන වර්ෂයෙන් වර්ෂය හොඳින් මේ කාර්යය කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. අද නිර්මාණවලින් ත්‍යාග ලබන සියලු දෙනාම දක්ෂයන්. අමාරුවෙන් තමයි ඒ තීරණ දුන්නේ. ලබන වසරේ වැඩි තරග ප්‍රමාණයක් කරනවාද කියා අපි සාකච්ඡා කර තිබෙනවා. විශාල ප්‍රමාණයේ තොරණ 10ක් සඳහා පරිත්‍යාශීලින් 10ක් විශාල මුදලක් වැය කළා. ඒ මුදල් එකතු කර කූඩු තරගයක් ලබන වසරේ කරන්න පුළුවන්ද කියලා අපි කල්පනා කරමින් සිටිනවා. මේ පින හැදු වැඩූ මවුපියන්ට ගෞරවයක් වන ලෙසත්, ගුරුවරුන්ට අභිමානයක් වන ලෙසත්, රටට ශක්තියක් වන ලෙසත් නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. මේ පින්කමට දායක වූ, මේ මල් වට්ටියට අතගැසූ සැමට ස්තූතිය පුද කරමින් රට හදමු වැඩ කරමු කියා මා ආරාධනා කරනවා.”
ලේක්හවුස් ආයතනයේ සභාපති, මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා,
හෝමාගම පුරවරය කේන්ද්‍ර කරගෙන කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන පැවැත්වූ ධර්ම රශ්මි පොසොන් කලාපය ඇති වුණේ. ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ මඟපෙන්වීම හා අනුශාසකත්වය යටතේ විවෘත පොසොන් කූඩු තරගාවලිය සංවිධාන කිරීමට ලේක්හවුසියේ අපට හැකියාව ලැබීම මා හිතන්නේ අපි ලද මහත් අභිමානයක් ලෙසයි. පළමු ත්‍යාගය ලක්ෂ 10ක් වන අතර, මුළු ත්‍යාග මුදල රුපියල් ලක්ෂ 25කට අධික මුදලක්. මේ ත්‍යාග මුදල් විවිධ පරිත්‍යාගශීලින්ගෙන්, සුබ පතන්නන්ගෙන් ලැබුණු අතර, ලේකහවුස් ආයතනයෙන් කිසිදු මුදලක් වැය කළේ නෑ. මින් ඉතිරි වන මුදල් සියල්ල ඇමැතිවරයාගේ උපදෙස් පරිදි මහින්ද රාජපක්ෂ විදුහලේ අරමුදලට අපි පරිත්‍යාග කරනවා. කූඩු 54ක් අතිශය දැවැන්ත දියුණු තරගයක්. අද තේරී පත් වන්නේ එයින් ජයග්‍රාහකයන්. ඔවුන් තෝරණු ලැබුවේ ඉතා අපක්ෂපාති ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයකින්. ආචාර්ය හංසමාලා රිටිගහපොළ, රවීන්ද්‍ර ගුරුගේ, කුෂාන් දේවින්ද, බුද්ධදාස ගලප්පත්ති මහත්වරුන් ඇතුළු සුවිශේෂි විනිශ්චය මණ්ඩලයක් විසින් ඔබව ඇගයීමට පත් කළ බව මම පවසන්නේ අපට වගේම ඔවුන්ට ද ගෞරවයක් ඇතිවීම පිණිසයි. මේ පොසොන් කලාපයේ නිර්මාතෘ, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට, ලේක්හවුස් ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලය ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට, සාමාන්යාධිකාරිතුමාට, පුවත්පත් කතුවරුන් හා කතුවරියන්ට, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි අලෙවි, ඩිජිටල් අංශයේ ශිල්පීන් ඇතුළු ලේක්හවුස් ආයතනයේ සියලු සාමාජිකයන්ට මගේ ස්තූතිය පුද කරනවා. ඒ වගේම ප්‍රචාරණ කටයුතු සිදු කළ රූපවාහිනි, ස්වාධීන රූපවාහිනි, ගුවන්විදුලි ආයතනවල ප්‍රධානීන්ට මගේ ස්තූතිය පුද කරනවා. දූරදර්ශී අභීත තීරණ ගන්නා ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට මේ රටට චිරාත් කාලයක් සේවය කරන්න ශක්තිය හා ධෛර්යය ලැබේවායි ලේක්හවුස් පවුලේ අපි ප්‍රාර්ථනා කරනවා.”
ආචාර්ය හංසමාලා රිටිගහපොළ මහත්මිය,
මේ කටයුත්ත සඳහා විශාල ලෙස විනිශ්චය මණ්ඩලය කැප වී කටයුතු කළා. අපට කිලෝමීටර් 13කට වැඩි ප්‍රමාණයක් ඇවිදින්න සිදු වුණා. කූඩු 52කට වඩා තිබුණා. මේ සෑම කෙනෙක් සමඟම කතා කර භාවිත කළ අමුද්‍රව්‍ය, එය සකස් කළ ආකාරය අපි විමසුවා. ඔවුන්ගේ පරිකල්පනය පළ කරන්න හදපු සංකල්පමය හැඟීම් ඔවුන් ඒ දේ දිහා බලපු විදිහ ගැන අපි කතා කළා.ඇගයීමට පාත්‍ර වූ වගේම පාත්‍ර නොවූ අයත් සිටිනවා. ඒ හැමෝම දක්ෂයි. මේ සියලු දෙනාට විනිශ්චය මණ්ඩලය වෙනුවෙන් මම සුබ පතනවා.”
ලේක්හවුස් ආයතනයේ සභාපති, මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති, මහාචාර්ය සුදත්ත ලියනගේ, ශ්‍රී ලංගම සභාපති වරලත් ඉංජිනේරු ලලිත් ද අල්විස්, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ඉංජිනේරු කුෂාන් දේවින්ද , ලේක්හවුස් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර පරණතන්ත්රි, නීති හා පරිපාලන අධ්යක්ෂ නීතිඥ ජනක රත්නායක, මෙහෙයුම් හා නීති අධ්යක්ෂ නීතිඥ මංජුල මාකුඹුර, සාමාන්‍යාධිකාරි සුමිත් කොතලාවල, ආයතන ප්‍රධානීන්, විනිශ්චය මණ්ඩලය නියෝජනය කරමින් මහාචාර්ය හංසමාලා, බුද්ධදාස ගලප්පති මහත්ම මහත්මීන් ඇතුළු ජයග්‍රාහකයෝ මේ අවස්ථාවට එක් වූහ.