ශ්‍රී ලාංකේය පුවත්පත් කලාව නව මානයකට රැගෙන ගිය ‘දිනමිණ’ පුවත්පත සිය අභිමානවත් 116 වැනි සංවත්සරය දිනමිණ කර්තෘ මණ්ඩලයේ දී ඊයේ (17) සැමරීය.
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) මඟින් ප්‍රකාශයට පත්කරන ප්‍රමුඛතම දිනපතා සිංහල පුවත්පත වන දිනමිණ පුවත්පතේ සංවත්සර සැමරුමට ලේක්හවුස් අධ්යක්ෂ මණ්ඩලය, ඉහළ කළමනාකාරිත්වය සහ පුවත්පත් කතුවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
සංවත්සර උත්සවයේ දී දිනමිණ ප්‍රධාන කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී ප්‍රදීප් දසනායක මහතා විසින් එම අවස්ථාවට එක්ව සිටි සියලු දෙනා පිළිගනිමින් පැවසුවේ දිනමිණ පුවත්පත සාමූහක වගකීමක, යුතුකමක ප්‍රතිඵලයක් බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කරමින් කර්තෘවරයා මෙසේද කීවේය.
දිනමිණ පුවත්පතේ වසර 116 සමරන මේ මොහොතේ වසරක අත්දැකීම් තිබෙන කතුවරයෙක් විදිහට මේ අවස්ථාව ලැබීම භාග්‍යයක් කොට සලකනවා. මීට වසරකට පෙර 115 වැනි සංවත්සරය සමරන අවස්ථාවේ මම පැමිණ ඉතාම කෙටි කාලයක දී චාම් සැමරුම් උත්සවයක් සංවිධානය කළා. ඒ අවස්ථාවේ ආයතනය සහ පුවත්පතේ සංයුතිය ගැන අවබෝධයක් ලබාගන්නා අතරතුර ඒ උත්සවය සංවිධානය කළා.
කර්තෘ මණ්ඩලයේ සියලු දෙනා එක්ව සාමූහිකව ඒ උත්සවය සංවිධානය කළා. ඒ අනුව මේ වසර පුරාම අපි සාමූහිකත්වය දැක්ම යටතේ වැඩ කරගෙන ආවා. අපේ දැක්මක් සහිතව පුවත්පත තුළ කටයුතු කරන්න අපි උත්සාහ ගෙන තිබෙනවා.
මේ වසරක කාලයේදී විනිශ්චය කුමක් ද යන්න පුවත්පතක දෘෂ්ටිය තුළ අපි කටයුතු කර තිබෙනවා.
මෙහිදී අදහස් පළ කළ ලේක්හවුස් සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල මහතා –
දිනමිණ වසර 116 වැනි සංවත්සරය සම්බන්ධයෙන් ආඩම්බර වෙනවා. වසර 116ක් කියන්නේ ලෙහෙසි කාලයක් නොවෙයි. දිනමිණ පුවත්පත වසර 116ක කාලයක් අඛණ්ඩවම පවත්වාගෙන ගොස් තිබෙනවා.
පත්තරයක් එවැනි කාලයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ආඩම්බර වෙනවා. පුවත්පතක් කියන්නේ අජීවී දෙයක්. ඒකට පණ දෙන්න ඕන. මූලික වශයෙන් කාර්තෘ මණ්ඩලය ඒ වෙනුවෙන් කටයුතු කරනවා. දිනමිණ මේ වනවිට 27 වැනි කතුවරයා දක්වා පෝෂණය වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය දෙස බලනවිට නිදහස, සමාජ වෙනස, සමාජ ගැටලු ආදිය සම්බන්ධයෙන් වසර 116ක කාලයක් දිනමිණ වාර්තාකරණයේ නිරතව තිබෙනවා. තොරතුරු, අධ්‍යාපනය, ක්‍රීඩා, විනෝදාස්වාදය ආදිය බෙදාගෙන තිබෙනවා. පුවත්පතක් ලෙස ඉදිරියට යාමේදී අභියෝග රාශියක් තිබෙනවා. දිනමිණ පුවත්පතට මුල් කාලයේ අභියෝග පැවතියේ නැහැ.
ලේක්හවුස් ආයතනයේ උපදේශක කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී අනුර කේ. එදිරිසූරිය මහතා-
දිනමිණ පුවත්පතේ වසර 116 කියන්නේ මට ලොකු ආඩම්බරයක්. ලේක්හවුස් ජීවිතයේ වසර 20ක් මම දිනමිණ පුවත්පතේ වැඩකර තිබෙනවා.
වැඩ කරනවා නම් වැඩ කරන්න ලේක්හවුස් තරම් හොඳ වෙනත් තැනක් නැහැ කියලා. මේ ආයතනයේ කුමක් කළත් රැකියාවේ සුරක්ෂිතභාවයක් තිබෙනවා. විවිධ බලපෑම් තිබුණා තමයි. ඒ තුළ වුවත් වැඩ කරන්න අවස්ථාව තිබෙනවා. ඇතැම් පත්තරවල පළ කරන්න නොහැකි යැයි කියූ දේවල් අපි පළකර තිබෙනවා. එක් එක් යුග පසුකර තිබෙනවා.
සිළුමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ප්‍රවීණ මාධ්‍යවේදී උදේනි සමන් කුමාර මහතා-
දිනමිණ පුවත්පතට වසර 116ක් පිරීම නිමිත්තෙන් සුබ පැතුම් එක්කරනවා. අද වනවිට දිනමිණ යම්කිසි තැනකට පැමිණ තිබෙනවා. අද වනවිට තරුණ පරපුර පුවත්පත් කියවන්නේ නැහැ. ඒ නිසා අපිට තිබෙන අභියෝගය දැවැන්තයි. එදා අපි තරුණ කාලයේදී පුවත්පත් කියවනවා.
ඇතැම් ලිපි, කවි පේළි පොත්වල අලවා තිබෙනවා. ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් එදා දිනමිණ පිටු ගණන් වාර්තාකර තිබෙනවා. පත්තර කලාව සමඟ එදා ජනතාව ජීවත් වුණා. බස් එකේ යනවිට පත්තරේ කියවනවා. පත්තර කියවලා දවස ආරම්භ කරනවා. අපිට හොඳ සමාජයක් ගොඩනඟන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපි උත්සාහ කළයුතු වෙනවා. ඒ වෙනුවෙන් දිනමිණට යමක් කරන්න පුළුවන්Ó යැයි පැවැසීය.
අනතුරුව උපන්දින කේක් ගෙඩිය කැපීම දිනමිණ ප්‍රධාන කර්තෘවරයා විසින් සිදු කරන ලදි.
දිනමිණ ඉටුකළ මෙහෙවර මහ සමුදුර මෙනි. එහි තවත් විශේෂයක් ඇත. තවදුරටත් දෙස, බස, රැස රැකගනිමින් ජාතික මෙහෙවරක නියැළෙන්නට ‘දිනමිණ’ට පැවරෙන ජාතික වගකීමය. ශ්‍රී ලංකා – චීන බෞද්ධ මිත්‍රත්ව සංගමය, වාසනා බේකර්ස් ආයතනය, නෙස්ලේ ලංකා ආයතනය, Innovative Media Rublic (pvt) Ltd, දිනමිණ දැන්වීම් කළමනාකරු එරන්ද එදිරිමාන්න මහතාද දිනමිණ සංවත්සර උත්සවය වෙනුවෙන් අනුග්‍රාහකත්වය සපයා දුන්නේය. දිනමිණ කර්තෘ මණ්ඩලයේ සියලුම සාමාජික සාමාජිකාවන් මේ සැමරුම් උත්සවය සාර්ථක කරගැනීම වෙනුවෙන් දායකත්වය දැක්වීය. ලේක්හවුස් ආයතනයේ ඩිජිටල් අංශයේ චානක ඉනෝජ් මහතා මෙම වැඩසටහන මෙහෙයවීය.
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ මූල්‍ය අධ්යක්ෂ චන්න කෙවිටියගල, සමාගම් ලේකම් සුදර්ශි හේවාවසම්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මූල්‍ය) ඩී.එම්. ධනසේන, ඩේලිනිව්ස් ප්‍රධාන කර්තෘ කේසර අබේවර්ධන, සන්ඩේ ඔබ්සර්වර් ප්‍රධාන කර්තෘ ප්‍රමෝද් ද සිල්වා, තරුණී ප්‍රධාන කර්තෘ මනෝලි සුබසිංහ, ප්‍රවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර තිස්ස ධම්මික, ඡායාරූප කර්තෘ තිලක් පෙරේරා ඇතුළු පිරිසක් මේ සැමරුම් අවස්ථාවට එක්ව සිටියහ.







