ලේක්හවුස් සභාපති, මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්
වර්තමානය තුළින් කීර්තිමත් අනාගතයකටද උරුමකම් කියන්නට ‘විදු පියස’ රංගිරි දඹුලු ජාතික පාසලේ නිල පුවත්පත මනා පිටිවහලක් බව ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති, මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ ලේක්හවුස් ආයතනය රංගිරි දඹුලු ජාතික පාසල සමඟ අත්වැල් බැඳගනිමින් දෙවැනි වරටත් නිකුත් කරනු ලබන ‘විදු පියස’ රංගිරි දඹුලු ජාතික පාසලේ නිල පුවත්පත ලේක්හවුස් ආයතනයේ සභාපතිත්වය දරන එතුමාගේ සහ රංගිරි දඹුලු ජාතික පාසලේ විදුහල්පති ඩබ්.එම්.ජේ.බී. විජේසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ලේක්හවුස් ආයතනයේදී ඊයේ (4) එළිදැක්වූ අවස්ථාවේදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා:
“ලේක්හවුස් ආයතනයේ රාජ්‍ය සබඳතා දෙපාර්තමේන්තුව මඟින් පළ කරනු ලබන විවිධ පුවත්පත් අතර තවත් එක් ප්‍රධාන පුවත්පත් සංකල්පයක් තමයි මේ පාසල් නිල පුවත්පත් පළ කිරීම. මේ නිල පුවත්පත්වල පළමු පුවත්පත අප සකස් කළේ රංගිරි දඹුලු ජාතික පාසල සමඟයි. ඒ වගේම දෙවැනි කලාපයක් පළමු වරට එළි දක්වන්නේත් රංගිරි දඹුලු ජාතික පාසලයි. ඒ වගේම මේ පුවත්පත බලන විට මම දැක්කා විදු බිමක් වැඩ බිමක් කළ දඹුලු දරුවෝ කියලා මේක තේමා කර තිබෙනවා. විදුහල්පතිතුමාගේ සම්මුඛ සාකච්ඡාවේදීත් මම ඒක දැක්කා. ඔයාලා දක්ෂතා රැසක් තිබෙන දරුවෝ. මොකද, මේ පුවත්පත පෙරළාගෙන යද්දී මම දැක්කා එක ක්ෂේත්රයකට පමණක් සීමා නොවී සෑම ක්ෂේත්රයකටම ගමන් කරන බව.
ඒ වගේම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය එච්.එච්.ඩී.එන්. ඕපාත මහතා ඇතුළු ශක්තිමත් ආදි ශිෂ්‍ය පරම්පරාවක් ද සහිතව පැවැත එන ඔයාලාට බැහැර කරන්න බැරි යුතුකමක්, වගකීමක් තිබෙනවා. ඒ කීර්තිමක් අතීතය ඉදිරියට ගෙන යෑමයි. ඒ වගේම මේ පුවපත්පත බලන කොට පේනවා ඔයාලාට හොඳ වර්තමානයක් තිබෙනවා. ඒ වගේම ඒ වර්තමානය තුළින් කීර්තිමත් අනාගතයකටද උරුමකම් කියන බව ඉතාමත් පැහැදිලියි. ඒ නිසා මේ ඉන්නේ අංකුර මාධ්‍යවේදීන්. මේ අංකුර මාධ්‍යවේදීන්ට ලේක්හවුස් ආයතනය තෝතැන්නක්.”
මේ අවස්ථාවට සහභාගි වූ ලේක්හවුස් ආයතනයේ මූල්‍ය අධ්යක්ෂ ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා:
“ඇත්තටම රංගිරි දඹුලු විද්‍යාලය පිළිබඳ අප ආඩම්බර වෙනවා. ඒ අප මේ පාසල් නිල පුවත්පත් සංකල්පයේ පෙරගමන්කරුවා විදිහට කටයුතු කිරීම සම්බන්ධව. අප ඉන්නේ 21 වැනි සියවසේ. මේ ඉන්න දරුවෝ 21 වැනි සියවසට ගැළපෙන දරුවෝ වෙන්න නම්, තිබිය යුතු ගුණාංග රැසක් තිබෙනවා. ඒ අතර විචක්ෂණශීලී චින්තනය හා ගැටලු විසඳීමේ හැකියාව, නිර්මාණශීලීත්වය, නවෝපාදනය හා ව්‍යවසායකත්ව හැකියාව, සහයෝගිතාව, සාක්ෂරතාව, ජීවන කුසලතා හා සන්නිවේදනය ප්‍රධාන වෙනවා. මෙන්න මේ දේවල් සියල්ල ඔබ මේ පුවත්පත නිර්මාණය කිරීම මඟින් ලබාගත්තා. මේ ලබාගත් අත්දැකීම් පාසලට පමණක් නොවෙයි, අනාගතයේදී මේ දරුවන් රැකියාව නියැළුණත්, ව්‍යාපාරයක්, පර්යේෂණයක් කළත් මේ දේවල් ඉතා වටිනවා. මේ හරහා හිතලා බැලුවම 21 වැනි සියවසට ගැළපෙන දරුවකු නිර්මාණය කරන්නට මේ සංකල්පය ලොකු පිටුබලයක් සපයනවා.”
රංගිරි දඹුල්ල ජාතික පාසල් විදුහල්පති ඩබ්.එම්.ජේ.බී. විජේසිංහ මහතා:
“අප අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන්නේ දැනුම කුසලතා ආකල්පවලින් පරිපූර්ණ වුණු දරුවකු සමාජයට දායාද කරන්නයි. එහෙම දුන් අවස්ථාවක් තමයි අද මේ විදුපියස පුවත්පත මඟින් රටටම කියන්නේ. අපි අපේ පළමුවැනි කලාපයෙන් පාසල පිළිබඳ ගොඩක් දේවල් කතා කළා. එහෙත් දෙවැනි කලාපයෙන් අප බලාපොරොත්තු වුණේ, අධ්‍යාපන ක්ෂේත්රයේ සිදු විය යුතු වෙනස්කම් මොනවාද කියන දේ පිළිබඳව අනෙකුත් පාසල්වලටත් ආදර්ශකයක් දෙන්නයි. දැනුම කියන දේ පාසලෙන් මෙන්ම විවිධ ආකාරවලින් දරුවන්ට ලැබෙනවා. එහෙත් නිපුණතා කියන දේ දරුවන් තුළ ගොඩනැඟීම පිළිබඳ ගැටලුවක් පවතිනවා. ඉතින් මෙවැනි දේ හරහා අපි නිරතුරු උත්සාහ ගන්නේ හොඳ නිපුණතාවක් තිබෙන දරුවකු නිර්මාණය කරන්නයි. විදු බිමක් වැඩ බිමක් කළ දඹුලු දරුවෝ කියන සංකල්පය මත විදු පියස පුවත්පත ශ්‍රී ලංකාවේ පළමුවැනි වතාවට බිහි වුණේ, මෙන්න මේ නිපුණතාවෙන් පිරිපුන් දරුවන් බිහි කිරීමේ උත්සාහයේ තවත් අදියරක් ලෙසයි. ඒ වගේම දෙවැනි කලාපයෙන් නතර නොවී, මෙහි තුන්වැනි කලාපයකුත් නිකුත් කරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් වෙමින් පවතින බව මේ අවස්ථාවේදී සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි.”
‘විදු පියස’ රංගිරි දඹුලු ජාතික පාසලේ නිල පුවත්පත ලේක්හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා විසින් රංගිරි දඹුලු ජාතික පාසලේ විදුහල්පති ඩබ්.එම්.ජේ.බී. විජේසිංහ මහතාට පිළිගන්වනු ලැබීය.