සරසවි සඳරැස පුවත්පතින් ඉවත් වූ එච්. එස්. පෙරේරා මහතා අලුතින් පත්තරයක් ඇරැඹීමේ අරමුණ ඩී. බී. ජයතිලක මහතා මඟින් රත්මලානේ ධර්මාරාම හිමියන්ට දැනුම් දුනි.
‘සඳරැසට විරුද්ධව නම් දිනමිණ තමයි…’
එසැණින් එහිමියෝ වදාළහ. ඒ අනුව අද (17) 115 වැනි උපන් දිනය සමරන දිනමිණ උපත ලැබීය. ඒ 1909 දෙසැම්බරයේදීය. එදිනද අද වැනි 17 වැනිදාවක්මය.
එවන් දිනමිණ එදා මෙදාතුර පාඨකයා අතට පත්කිරීමට ඇපකැපවූවෝ බොහොමයකි. එකලද මෙකල මෙන්ම දිනමිණ පුවත්පතෙහි අභිවෘද්ධිය වෙනුවෙන් තිරය පිටුපස සිටිමින් උරදෙන්නෝ ද බොහොමයක් වූහ. එදා ඉතිහාසයට හැරී බලන විට රත්මලානේ ශ්‍රී ධර්මාරාම හිමි, ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, රොබට් බටුවන්තුඩාව ආදී ප්‍රාඥයෝ සිහිවෙයි. ඔවුහු ජාතික නිදහස් ව්‍යාපාරයේ පුරෝගාමීන් ද වීමෙන් දිනමිණට පැවරෙන ජාතික වගකීමේ භාරදූර බව ප්‍රකට කරයි.
ශ්‍රීමත් දොන් බරොන් ජයතිලකයන් වරක් ප්‍රකාශ කළේ, ‘මාගේ ඒකායන අපේක්ෂාව මවුබිමට සේවය කිරීමයි. තරුණයෝ යනු අනාගත නායකයෝය. ඔවුන්ගේ සිත් බියෙන් තොරය. කරදර, හිරිහැරවලට ඔවුහු බිය නොවෙති. තරුණකම මගේ දියුණුවේ පහසයි…’ වශයෙනි.
මේ එදාට මෙන්ම අදටත් රට දැයට අගනා කියමනකි. මහඟු ඔවදනකි. මඟපෙන්වීමකි.
මේ අනඟි මෙහෙවර පිළිබඳ තවත් යුගපුරුෂයකු ගැන අමතකකොට කතාබහ කළ නොහැකිය. ඒ අනෙකකු නොව, දොන් රිචඩ් විජයවර්ධනය. එසේත් නැතිනම් ඩී.ආර්. විජයවර්ධනයි. දිනමිණ බු. ව. 1909 දෙසැ. 17දා එච්.එස්. පෙරේරා මහතාගේ කර්තෘත්වයෙන් ඇරඹිණි. එසේම වර්ෂ 1914දා මෙහි හිමිකාරීත්වය ගනිමින් අද දක්වාම දිනමිණ අඛණ්ඩව පැවතීමට අවශ්‍ය කරන අඩිතාලම දැමුවේ ඩී. ආර්. විජයවර්ධන මහතාය.
සැබැවින්ම ඩී. ආර්. විජයවර්ධන මහතා මිලදී ගන්නා ලද්දේ ද ‘දිනමිණ’ යන අකුරු හතරෙහි අයිතිය පමණි. එතැන් පටන් බිම් මට්ටමේ සිට අහස උසට දිනමිණ කන්තෝරුව ඔසවා තබන්නට ඩී. ආර්. විජයවර්ධනයන් දැරූ වෙහෙස අපමණය. කළ කැපකිරීම් අනන්තය.
ඔහු පිටකොටුවේ නොරිස් වීදියේ ගොඩනැඟිල්ලක වෙනමම මුද්‍රණාලයක් පිහිටුවීය. ඊට උගත්, අතිදක්ෂ කර්තෘ මණ්ඩලයක් බඳවා ගැණින. එපමණක් නොව පුවත්පතෙහි එතෙක් පැවති ආකෘතිය වෙනස් කළේය. එවකට ඩිමයි භාගයේ කුඩා පුවත්පතක් වූ දිනමිණ පිටු විශාල කරමින් ඊට සැබෑම වෙනස් මුහුණුවරක් ගෙන දුන්නේ ඩී. ආර්. විජයවර්ධන මහතාය.
අඛණ්ඩව මුද්‍රණය කෙරුණු සිංහල පුවත්පතක් නොවුණු එකල, එම අඩුපාඩුව දිනමිණ මඟින් සපිරිණි.
තවද ඩී.ආර්. විජයවර්ධන මහතාගේ නිරන්තර අවවාදය වූයේ හැඟීමෙන් තොරව ලියන ලේඛකයා දක්ෂයකු නොවන වගය. කියවන ජනතාව පිළිබඳ හොඳ කල්පනාවෙන් යුතුව ලිවිය යුතු වගට හෙතෙම අවධාරණය කළේය. ඒ වග සිය හාම්පුතාගේ අපේක්ෂාව පිළිබඳ දිනමිණ සංස්කාරක පියසේන නිශ්ශංක මහතා ද වරක් සඳහන් කර තිබේ.
තවදුරටත් ඉතිහාසයට ගමන් කරන විට හෙළයේ මහා ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහ සූරීන් දිනමිණ සංස්කාරකවරයා වශයෙන් තැබූ සටහනක් වන්නේ, ‘ඩී. ආර්. විජයවර්ධන මහතා ජාති හිතෛෂියකු වූයේ කතාවෙන් නොව ක්‍රියාවෙනි. රටත්, ජාතියත් උදෙසා ඔහු කළ සේවය වටහාගත හැක්තේ ඔහු කියූ දේ සෙවීමට වෙහෙසීමෙන් නොව, කළ දේ සෙවීමට වෙහෙසීමෙනි.
සැබැවින්ම ඩී.ආර්. විජයවර්ධනයන්ට පුවත්පත් මුද්‍රණයේ නව ප්රවණතා සොයා යෑමේ පිපාසයක් තිබිණි.
එක්දහස් නවසිය ගණන්වල මුල් භාගයේදී නවීන ‘වෙබ් ෆෙඩ් රොටරි ගටර්’ යන්ත්‍රයක්, අකුරු පේළි වත්කළ හැකි අන්දමේ ‘ලයිනෝ වයිර්’ යන්ත්‍ර පෙළක් ද ලඩ්ලෝ ශීර්ෂ පාඨ වත්කළ හැකි ලයිනෝ ටයිප් යන්ත්‍ර සහ බ්ලොක් කැපීමේ යන්ත්‍ර සූත්‍ර ලේක්හවුසියට අලුතින් එක්වන්නේ ඒ අනුවය.
එමෙන්ම අද පතාකයන්ව සිටින බොහෝ ලේඛකයන් එදා ආධුනිකයන්ව සිටියදී දිනමිණෙහි අත්වැල ලැබිණි. නෑ මිතුරුකම්, දැන හැඳුනුම්කම් නොසොයා, නොබලා යෞවනයන්ට දුන් ඒ අතහිත පිළිබඳ කිත් පැසසුම් ඕනෑ තරම් අසන්නට තිබේ. මහාචාර්ය ගාමිණී සමරනායක මහතා ඒ පිළිබඳ දිනමිණ සමරු කලාපයකට ලිපියක් සපයමින් සඳහන් කළේ, ‘මා දිනමිණ පාඨකයකු වූයේ අවුරුදු 9ක් තරම් කුඩා අවධියේදීයි. එකල කිළිනොච්චියේ ව්‍යාපාරවල නියැළී සිටි මාමා, ඔහුගේ බාල දියණියට දිනමිණ පුවත්පත තැපැල් මඟින් ලැබෙන්නට සැලැස්වීය. ඒ අනුව දිනක පමාවකින් යුතුව දිනමිණ අනුරාධපුරයට ලැබිණි. එසේ ලැබෙන පුවත්පත කියවූයේ මාය. පාසල් ගොස් පැමිණි පසු දිවා ආහාරය ගැනීමටත් පෙර දිනමිණ පුවත්පත කියවීමේ පුරුද්දක් අපට විය.
කුඩා කල සිටම මා ආසාවෙන් හැන්සාඩ් පිටුව කියවීමි. ඒ ඇතැම් තොරතුරු අදටත් මට මතකය. කිනම් දේශපාලන පක්ෂයක වුවද පාර්ලිමේන්තුව නියෝජනය කළේ පතාක යෝධයන්ය.
ඉතා හරබර කතා මෙන්ම පාර්ලිමේන්තු විවාද එවක දැකගත හැකි විණි. පසුකලෙක දේශපාලන විද්‍යාව විෂයක් වශයෙන් අධ්‍යාපනය සඳහා එක්තරා අන්දමකට මා දිරිමත් කිරීමක් දිනමිණ හැන්සාඩ් පිටුව මඟින් විය….’
මෙරට මුල්වරට සිනමා නළු නිළි යුවළක් සමඟ පුවත්පත් සාකච්ඡාවක් පවත්වා තිබුණේ දිනමිණය. ඒ, 1929 වසරේ මෙරටට පැමිණි, එවකට ලොව අතිශයින්ම ජනප්‍රිය නළු නිළි යුවළ වූ ඩග්ලස් ෆෙයාර්බෑන්ක්ස් සහ මේරි පික්ෆෝඩ් සමඟ කළ සාකච්ඡාවය.
මෙරට ප්‍රථම සිනමා සම්මාන උලෙළ සංවිධානය කිරීමේ පුරෝගාමී ගෞරවය හිමිවන්නේ ද දිනමිණ ටය. එනම් 1956 වර්ෂයේදීය. එය දිනමිණ රඟමඬල චිත්‍රපට තරගය වශයෙන් නම් කෙරිණ. 1956 වර්ෂයේ මාර්තු 2 දින කොළඹ රාජකීය විද්‍යාල ශාලාවේදී එය පවත්වා තිබේ. ඒ සඳහා වර්ෂ 1953 සිට 1956 වර්ෂය දක්වා ප්‍රදර්ශිත චිත්‍රපට සලකා බැලිණි.
එවර ප්‍රියතම චිත්‍රපටය ලෙස ‘කැලෑ හඳ’ සම්මාන ලැබීය. ප්‍රියතම නළුවා ලෙස ‘රුක්මණී දේවි’ ද, ප්‍රියතම ගීතය ලෙස සුජාතා චිත්‍රපටයේ ‘මනරංජන දර්ශනීය ලංකා’ ගීය ද සම්මාන දිනාගන්නා ලදි.
සිංහල සිනමාවේ එදා මෙදාතුර බිහිවුණු කීර්තිමත්ම චිත්‍රපට විචාරකයා ලෙස අවිවාදයෙන් පිළිගැනෙන ජයවිලාල් විලේගොඩ බිහිකරන ලද්දේ ‘දිනමිණ’ විසිනි.
ප්‍රවීණ ගීත රචක, ලේඛක මහින්ද චන්ද්‍රසේකර ‘දිනමිණ’ සියවස් සමරු කලාපයකට සඳහන් කළේ, ‘කාලීන වූ උණුසුම් ශාස්ත්‍රීය සංවාදවලට හා විවාදවලට බොහෝ විට වේදිකාවක් වූයේ ද දිනමිණ යි. පාඨක ලොවේ බාල මහලු සියල්ලන්ගේ බුද්ධි ප්රබෝධයට හා පෝෂණයට එයින් ලැබුණු රුකුල ඉමහත්ය. ප්රබුද්ධ වියත් පිරිසකගේ ඇසුර නිරන්තරයෙන්ම ලැබීම මාධ්‍ය අම්බරය පුරා ‘දිනමිණ’ ජෝතිමත් වීමට වෙසෙසින්ම හේතුකාරක විය. නවක ලේඛක පිරිසකට එය බෙහෙවින්ම සරුසාර වූ තෝතැන්නක් ද විය.
කවිය – වෙසෙනින්ම කොළඹ කවිය ජනහද කරා ළංකර වීමට ද අමිල මෙහෙවරක් ඉටු කළේ අවිවාදයෙන්ම දිනමිණ පුවත්පතයි. කොළඹ කවියෙහි මුල් යුගයෙහි දැවැන්ත කවීහු ‘දිනමිණ’ ට නිතර කවි ලියූහ.
ශ්‍රී රූපදේව, ආනන්ද රාජකරුණා, බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා, ඇස්. මහින්ද හිමි, පිළිකුත්තුවේ කමලා, හක්ගල්ලේ පී. කේ. ඩී. සෙනෙවිරත්න, කොල්ලුපිටියේ පී. බී. අල්විස් පෙරේරා, මීතොටමුල්ලේ යූ. ඒ. ඇස්. පෙරේරා, නාරම්පනාවේ විමලරත්න කුමාරගම, කළුතර එච්.එම්. කුඩලිගම, ජී. මලල්ගොඩ, කරුණාරත්න අබේසේකර ඔවුන්ගෙන් සමහරෙකි. මේ කවි කිවිඳියන්ගේ නිර්මාණ නිසා එදවස ‘දිනමිණ’ට ලැබුණේ අමුතු ආලෝකයකි.
මේ ඇබිත්තකි. දිනමිණ ඉටුකළ මෙහෙවර මහ සමුදුර මෙනි. එහි තවත් විශේෂයක් ඇත. තවදුරටත් දෙස, බස, රැස රැකගනිමින් ජාතික මෙහෙවරක නියැළෙන්නට ‘දිනමිණ’ට පැවරෙන ජාතික වගකීමය. එය එදා මෙන්ම හෙටටත් දිනමිණ කෙරෙන් එසේම ඉටුවනු ඇත.