මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව පනස් හයවන වරටත් 26, 27, 28 දින අති උත්කර්ෂවත් ලෙස - සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලයෙනි

සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය තිස්හය වසරකට පසුව ලක් දනන්ගේ ආගමික හා සංස්කෘතික ඉතිහාසයේ අනුස්මරණීය ම දිනය බවට පත් කරමින් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට වදාළේ උතුම් පොසොන් පුර පසළොස්වක පොහෝ දිනක ය. ලක් දනන් අභිමානවත් ශිෂ්ටාචාරයක උරුමකරුවන් බවට පත් කරන්නට ආරම්භය දුන් උතුම් පුණ්‍ය භූමිය, එදා මිස්සක පව්ව ලෙස හැඳින්වූ මිහින්තලා පුදබිම වන්දනාමාන කර ගන්නට, ශ්‍රේෂ්ඨ උරුමයක ශ්‍රී විභූතිය දැක බලා ගන්නට දුරාතීතයේ සිට ම ලක්දිව සිව් දෙසින් බොදු දනෝ ඇදී ආහ.
 
දියුණු පාරතොට, ගමනා ගමන පහසුකම් කිසිවක් නොතිබි අතීතයේ අපේ මුතුන් මිත්තෝ සැතපුම් සිය ගණන් දුර බැහැර ගෙවාගෙන මිහින්තලාව වෙත ඇඳී ආවේ ඇතැම් විට දවස් ගණන් ගෙවාගෙන පා ගමනිනි. ගමන දුෂ්කර වුව තුනුරුවන් කෙරෙහි වූ අප්‍රමාණ ශ්‍රද්ධාව නිසාම ඔවුහු ඒ කිසිවක් දුෂ්කර යැයි නොසැලකූහ.
 
අනුරාධපුර නගරයේ සිට සැතපුම් අටක පමණ දුරින් පිහිටි, විසල් ගහ කොළින් ගැවසී ගත්, වන සතුන්ගේ රජ දහනක් ව පැවැති භූමි ප්‍රදේශයක පිහිටි මිස්සක පව්ව තරණය කිරීම බොහෝ අසීරු කාර්යයක් විය. වෙසෙසින් ඝනදුර රජ කළ මහා රැයේ රූස්ස ගස් මුදුන් අතුරින් පෙරී ආ මුදු සඳ එළිය පුද බිමට යන මඟ ආලෝකවත් කරන්නට ප්‍රමාණවත් වූයේ නැත. වන්දනා කරුවන් යාන්තමින් හෝ ඒ අඳුර මකා ගත්තේ දල්වාගත් හුළු අතු එළියෙන් හා පහන්තිර එක මත එක තබා ඔතා ගනිමින් සකසා ගත් පන්දම් එළියෙනි. එදා මිහින්තලා පුණ්‍ය භූමියට විදුලි ආලෝකය නොමැති වීමේ අඩුව මෙතැකැයි වචනයෙන් කීමට නොහැකි තරම් ය.
 
දේශයක නිවහල් බව වෙනුවෙන්, ජාතියක නැණ පහන් දැල්වූ ලාංකේය පුවත්පත් ඉතිහාසයේ අග්‍රගණ්‍ය නාමයක් හිමි කරගත් පත්තර මහ ගෙදර , ලේක්හවුස් ආයතනය ඒ අඩුව පිරවීමේ උදාරතර වගකීම බාර ගත්තේ ය. ලේක්හවුස් ආයතනයේ ආදි කර්තෘ ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් තුළ වූ, මිහින්තලා පුදබිම විදුලි ආලෝකයෙන් ඒකාලෝක වනු දැකීමේ උතුම් බලාපොරොත්තුව යථාර්ථයක් බවට පත් වූයේ මීට පනස්හය වසරකයට පෙර ය. ඒ 1963 වසරේ උදාවූ පින්බර පොසොන් පුර පසළොස්වක පෝදා ය. එදා ලක්ෂ සංඛ්‍යාත බොදු දනන්ගේ සාධු නාද මධ්‍යයේ මිහින්තලා පුණ්‍ය භූමිය, චෛත්‍ය රාජයාණන් වහන්සේ විදුලි ජනක යන්ත්‍ර මඟින් නිපද වූ ආලෝකයෙන් ප්‍රථම වතාවට ඒකාලෝක විය. එවකට ලේක්හවුස් ආයතනයේ සභාපති ධූරය දැරුවේ රංජිත් විජයවර්ධන මහතා ය.
 
කොළඹ සිට ලොරි රථවල පටවාගෙන ගිය විදුලි ජනක යන්ත්‍ර මඟින් , එකල හැඳින් වූ ලෙස නම් ලයිට් මෝලවලින් පොසොන් පෝ දා මිහින්තලා පුදබිම ඒකාලෝක වන අතරේ ඒ සද් කාර්යය පිළිබඳ ව රට පුරාම පැතිරී ගියේය. ඒ නිසාම වන්දනා කරුවන් වැඩි වැඩියෙන් පුද බිම වෙත ඇදී එන්නටත්, ඔවුන්ගේ පහසුව පිණිස ජල පහසුකම්, සෞඛ්‍ය පහසුකම්, සනීපාරක්ෂක සේවා, දන්සල් ද වැඩි දියුණු විය. ආලෝක පූජාව ඇරැඹීමත් සමඟ මිහින්තලා පුණ්‍ය භූමිය වැඳ පුදා ග න්නට සපැමිණෙන වන්දනාකරුවන්ගේ ශීඝ්‍ර වර්ධනයත් සමඟ ඔවුන්ගේ ධර්ම ඥානය වැඩි දියුණු කරන්නට ලේක්හවුස් ආයතනයට දහම් පුවත්පතක දැඩි අවශ්‍යතාවය ද ඇති විය.ලක් බිමට සම්බුදු දහමේ ආලෝකය ලබා දුන් මිහින්තලා පුද බිමේ දී ම අසිරිමත් ධර්ම භාණ්ඩාගාරයක් වන් ‘බුදුසරණ’ පුවත්පත මුද්‍රණය කර බෙදා හැරීමට කටයුතු යෙදිණි. ඒ සද්කාර්යයේ ආරම්භය සිදු වූයේ 1965 ජුනි 13 දිනට යෙදුන පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයේ දී ය.
 
ආරම්භයේ දී විදුලි ජනක යන්ත්‍ර මඟින් ආලෝකය සැපයුව ද පසුකාලීනව ලංකා විදුලිබල මණ්ඩලයේ ද සහාය ඇති ව වඩාත් දීප්තිමත්ව ආලෝක පූජාව සිදු කරන්නට ලැබීම බොදු දනන් ලද භාග්‍යයක් ම විය.
 
ආලෝක පූජාවට සමගාමීව තවත් සද්කාර්යයන් රැසක් පොසොන් පුන් පොහෝ දිනය වෙනුවෙන් ආරම්භ විය. මේ සද්කාර්ය වඩාත් ක්‍රමවත් ව පැවැත්වීමට බොහෝ ජනතාවට පින්කර ගැනීමේ අවස්ථාව ද සලසා දෙමින් මිහින්තලා රාජමහා විහාරාධිපති ස්වාමීන් වහන්සේ මහා භාරකාර දෙපාර්තමේන්තුව හා සමඟ එක්ව ලේක්හවුස් ආයතනය මිහින්තලා ‘ආලෝක භාරය’ ආරම්භ කළේ ය.
 
උතුම් පොසොන් පොහෝදා අනුබුදු මිහිඳු මාහිමියන් වැඩි මිහින්තලා පින්බිම ඒකාලෝක කිරීමේ මහා පුණ්‍ය කර්මයට පින්බර දායකත්වය ලබා දෙන්නට සැදැහැවත් ජනතාවට අද ද අවස්ථාව ඇත.
 
එදා මෙදා තුර ලේක්හවුස් ආලෝක පූජාවට සමගාමීව සිදු වූ වෙසෙස් සද් කාර්යයන් බොහෝ ය. මිහින්තලා මහා විදුහලට අංග සම්පූර්ණ පුස්තකාල ගොඩනැඟිල්ලක් ඉදිකර එහි දිනමිණ – බුදුසරණ පුස්තකාලය ස්ථාපිත කිරීම, මිහින්තලා කනිටු විදුහල් භූමියේ දන්ත චිකිත්සාගාරයක් ඉදි කිරීම, කුරුන්දන්කුලම විදුහලට වඩු කාර්මික මධ්‍යස්ථානයක් ලබා දීම, මිහින්තලා මහා විද්‍යාලයේ පරිගණක මධ්‍යස්ථානයක් ඉදි කිරීම, මිහින්තලා සෑ රදුන් හුණු පිරියම් කිරීම ආරම්භ කිරීම, උඩ මළුවේ දොළොස් මහ පහනක් ඉදි කිරීම, බුදුසරණ පුවත්පතේ මෙහෙයවීමෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුව අනුග්‍රහයෙන් උතුරුමැද පළාතේ පාසල් හා දහම් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා කථික තරග පැවැත්වීම, දීප ව්‍යාප්ත රචනා තරග, දීප ව්‍යාප්ත චිත්‍ර තරග සංවිධානය කිරීම ඒ අතර සුවිශේෂී ය. සති පරිත් දේශනය ලේක්හවුස් අනුග්‍රහයෙන් පැවැති අතර දහසක් දෙනා වෙත සිල්රෙදි ප්‍රදානයද සිදු කෙරිණි.
 
ආරම්භයේ සිට අඛණ්ඩව පවත්වාගෙන එමින් මිහින්තලා පුණ්‍ය භූමිය ඒකාලෝක කළ මිහින්තලා ලේකහවුස් ආලෝක පූජාව මෙවර පැවැත්වෙන්නේ පනස් හයවන වරට ය. මෙවර ද මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව මිහින්තලා රාජමහා විහාරාධිපති වළවාහැංගුණ වැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනයෙන් ලේක්හවුස් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතාගේ පූර්ණ අනුමැතියෙන් ඉතා උත්කර්ෂවත් ලෙස සිදු කෙරේ. මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා පින්කමේ සම අනුග්‍රහය ලංකා විදුලිබල මණ්ඩලයෙනි. ඒ හා සමගාමීව පොසොන් පොහොය නිමිත්තෙන් සද්කාර්යයන් රැසක් ද ක්‍රියාත්මක වේ.
 
එමෙන්ම මෙවර මිහින්තලා පුදබිම වන්දනා මාන කරන්නට පැමිණෙන සුවහසක් බොදු දනන්ට වන්දනා කරනු පිණිස සම්බුදු සිරිපා ශෛලමය අනුරුව, මිහිඳු මාහිමියන්ගේ ප්‍රතිමා වහන්සේ මිහින්තලා පදුබිමේ උඩමළුවෙහි තැන්පත් කර තිබීම ඉතා සුවිශේෂී ය.
 
 - රමණි සුබසිංහ