මිහින්තලා පුද බිම වෙත වැඩමවන සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මාහිමි දැවමය ප්‍රතිමා වහන්සේ

අනුබුදු මිහිදු මහරහතන් වහන්සේගේ අසිරිමත් ලංකා ගමනය සිදුව වසර2325ක් සපිරීමත්, මිහින්තලා ලේකහවුස් වාර්ෂික ආලෝක පූජාවත් 2018 මූලික කර ගනිමින් මිහින්තලා පුද බිම වෙත වැඩමවන සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මාහිමි දැවමය ප්‍රතිමා වහන්සේ කොළඹ සිට මිහින්තලාවට වැඩම කරවීමේ රිය පෙරහර ලේක්හවුස් මන්දිරය අබියසින් ඊයේ (06) පෙරවරුවේ ආරම්භ විය. එම ආරම්භක උළෙල මිහින්තලා විහාරාධිපති හා භාරකාර වළහාහැංගුණ වැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ලේක්හවුස් සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා එම අධ්‍යක්ෂ මණ්ඩලය හා සේවක සේවිකාවන්ගේ දායකත්වයෙන් සංවිධානය කර තිබිණි. පෙරහැර පිටත්වීමට ප්‍රථම ලේකහවුස් සභාපතිවරයා , අධ්‍යක්ෂ මණ්ඩලය හා අනුරූ නිර්මාණයට දායක වූවන් ඇතුළු පිරිස සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මාහිමි දැවමය ප්‍රතිමා වහන්සේ වෙත පුෂ්පොපහාර පුදකළ අවස්ථාව. මෙම පූජෝපහාර පෙරහැර හෙට (08) මිහින්තලා පුද බිම වෙත ළඟා වීමට නියමිතය.

සම්බුදු සිරිපා ශෛලමය අනුරුව හා අනුබුදු මිහිඳු හිමියන්ගේ දැවමය ප්‍රතිමා වහන්සේ නිර්මාණය මහා වංශයට නව එකතුවක් වී අනාගත දායාදයක් බවට පත්වන අතිශයෙන් උතුම් පූජනීය කාර්යයක් බව මිහින්තලා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණ වැවේ ධම්මරතන නාහිමියෝ පැවැසූහ.

කොළඹ ලේකහවුස් මන්දිරය අබියසින් ඊයේ (06) වැඩම වූ සම්බුදු සිරිපා ශෛලමය අනුරුව සහ අනුබුදු මිහිඳු මාහිමි දැවමය ප්‍රතිමා වහන්සේ රැගත් රිය පෙරහැර ආරම්භක උළෙලට එක්වෙමින් ධම්මරතන නා හිමියෝ මෙසේ පැවැසූහ.

පෙරහැර හා එම උළෙල මිහින්තලා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණ වැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ලේක්හවුස් සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා එම අධ්‍යක්ෂ මණ්ඩලය හා සේවක සේවිකාවන්ගේ දායකත්වයෙන් සංවිධානය කර තිබිණි.

ලේක්හවුස් සභාපතිවරයා කරඬු වහන්සේ වැඩමවා භික්ෂූන් වහන්සේ වෙත ආගමික වතාවත් සඳහා ආරාධනා කිරීමෙන් පසු කොටහේන සාම විහාරාධිපති මාදම්පිටියේ විමලවංශ හිමි පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටුවනු ලැබූහ. සෙත් පිරිත් දේශනයෙන් අනතුරුව ධම්මරතන ස්වාමීන් වහන්සේ මෙම පෙරහැර පිංකම සම්බන්ධයෙන් අනුශාසනාවක් පවත්වමින් තවදුරත් මෙසේ ද පැවැසූහ.

සම්බුදු සිරිපතුලේ අනුරූ කිහිප වරක් නිර්මාණය වී තිබෙන අතර මිහිඳු හිමියන්ගේ දැවමය පිළිරුව දුර්ලභ නිර්මාණයක්. මෙම නිර්මාණ කටයුතු භාග්‍යවන්ත හා පුණ්‍යවන්ත කාර්යයන්. අනුබුදු මිහිඳු හිමියන්ගේ දැවමය එක් පිළිරුවක් පමණක් මිහින්තලයේ තිබෙන අතර එය මෙම පිළිරුව තරම් විශාල නැහැ. රුක් අත්නන දැවයෙන් නිමකළ එම නිර්මාණය මේ වන විට මිහින්තලයේ වැඩසිටිනවා. මතකය අනුව මීට වසර 50කට පමණ පෙර ලේක්හවුස් පිංකම අවස්ථාවකදීම එම අනුරුව ද වැඩම කරවූවක්.

මෙම නිර්මාණ මහා වංශයට නව එකතුවක් ලෙස අනාගත දායද බවට පත් වන මහඟු පුණ්‍යකර්ම.

ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්.විජේවර්ධන මහතා ආරම්භ කළ මිහින්තලා ආලෝක පූජා පින්කම වසරක් පාසා සිදු කෙරෙන අති උතුම් පූජාමය කාර්යයක්. රටට ,ජාතියට ආගමට, ආශිර්වාදයක්. ලේක්හවුස් නිර්මාතෘ විජයවර්ධන මහතා ඇතුළු මේ පුණ්‍ය කටයුතු සඳහා මෙතෙක් දායක වූවන්ට ද යුද්ධයෙන් මියගිය සියලු දෙනාට ද මෙහිදී පුණ්‍යානුමෝදනා කරන බවද පැවැසූහ.

ෙම් අවස්ථාවට හුණුපිටිය ගංගාරමයේ සංඝයා වහන් සේලාද වැඩම කර සිටියහ‍. ලේක්හවුස් සාමාන්‍යාධිකාරී අභය අමරදාස මහතා ද මෙහිදී අදහස් දැක්වීය.

සම්බුදු සිරිපා ශෛලමය අනුරුව හා අනුබුදු මිහිඳු හිමියන්ගේ දැවමය ප්‍රතිමා වහන්සේ වෙත පුෂ්පෝපහාර පුද කිරීමෙන් අනතුරුව පෙරහැර ගමන් ආරම්භ කෙරිණි.