බුදුසරණ පුවත්පත මෙත් සිත් අරණ අන්තර්ජාල විකාශය අරඹයි

මෙත් සිත් අරණ අන්තර්ජාල විකාශය ව්‍යාපාරික පරමාර්ථයෙන් තොරව සමාජ පරමාර්ථයෙන් කරන වැඩසටහනක්

- ලේක්හවුස් සභාපති අනූෂ පැල්පිට

බුදු දහම ලොවට රැගෙන යෑමට නවීන තාක්ෂණය යොදා ගැනීම කාලෝචිතයි

- ජ්‍යේෂ්ඨ මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමි

නව මාධ්‍යයත් සමඟ එක්ව ධර්ම සන්නිවේදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ලේක්හවුස් ආයතනයේ නවමු අත්දැකීමක්

- මහාචාර්ය පාතේගම ඤාණිස්සර නාහිමි

නවීන තාක්ෂණය උපයෝගී කර ගෙන නූතන ලෝකයට බුදු දහම රැගෙන යාමට පියවර ගැනීම ඉතාමත් වැදගත් කාලෝචිත ක්‍රියාවක් බව කොළඹ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානය ප්‍රමුඛ චතුර් විහාරස්ථානාධිපති පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ හිටපු මහෝපාධ්‍යාය ජ්‍යේෂ්ඨ මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ බුදුසරණ පුවත්පත මඟින් “මෙත් සිත් අරණ” අන්තර්ජාල විකාශය ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (15) එක් වෙමිනි.

ලේක්හවුස්, පත්තර මහගෙදර අන්තර්ජාලයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින් අන්තර්ජාලයට බුදු දහම එක් කිරීමේ උදාරතර කටයුත්තට උර දෙමින් “මෙත් සිත් අරණ” යූ ටියුබ් නාලිකාව සහ ටික් ටොක් (TIK TOK) මාධ්‍යයන්ට එක් කිරීම මේ අවස්ථාවේදී සුබ මොහොතින් මහා සංඝරත්නයේ ආශිර්වාද මැද සිදු කෙරිණි.

ජ්‍යේෂ්ඨ මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමියෝ මෙසේ ද පැවසූහ.

ලේක්හවුස් ආයතනය ඩී.ආර්. විජයවර්ධන මැතිතුමා ආදි කර්තෘතුමන් ආරම්භ කළේ ඉමහත් වූ බලාපොරොත්තු රැසක් ඇතිව. බෞද්ධ පවුල් පසුබිමකින් පැමිනුණු එතුමා විශේෂයෙන් තමන්ගේ පුවත්පත් ආයතනයේ අපේ ජාතික භාෂාව, සංස්කෘතිය, සභ්‍යත්වය ආදී මේ සියලු දේවල් ආරක්ෂා කරන්නට යොදා ගන්නට ක්‍රමවේදයක් සැකසුවා. විශේෂයෙන්ම බුදුසරණ පුවත්පත ලංකාවේ පළමු වෙනි බෞද්ධ පුවත්පත හැටියට සලකන්නට පුළුවන්. එය සෑම වයසකම කෙනෙකුටම අවශ්‍ය කරන දහම් දැනුම ලබා දීමට අවශ්‍ය කරන ලිපි ඇතුළත් කළ බෞද්ධ විශ්වකෝෂයක් හැටියට සඳහන් කරන්නට පුළුවන්. බටහිර ලෝකය, යුරෝපය බුදු දහම භාවිත කරන්නේ ඒ අයගේ ජීවිතය බොහොම ඔපමට්ටම් කර ගන්නට දහම් දැනුමෙන්. විශේෂයෙන් සතිය කියන එක අපි දකිනවා අද බටහිර ලෝකයේ ඒ අයගේ දෛනික කාර්යයන් සඵල කර ගන්නට, දෛනික ජීවිතය සාර්ථකව ගත කරන්නට කාර්යාලවල කාර්යක්ෂමතාව ඇති කරගන්නට භාවිත කරන ක්‍රමයක් සහ පිළිවෙළක් “මයින්ඩ් ෆුල්නස්” කියලා අද බොහෝම ප්‍රචලිතව පවතිනවා. බටහිර ලෝකයේ, යුරෝපයේ අපේ බුදු දහමේ ථේරවාදී බුදු දහමේ, උගන්වන ඒ සති සංකල්පය ගැන ඒ අය තමන්ගේ ජීවිතවලට සැනසුම ළඟා කර ගන්නට කටයුතු කරන අවස්ථාවක්.

එබඳු අවස්ථාවකදී අපේ බුදු දහමේ තිබෙන සාර ධර්මයන් ඒ අයට ලබා ගන්නට නවීන ක්‍රමවේද භාවිත කරලා අපි ඒ අවස්ථාව සලසා දෙනවා නම් ඒක අපේ බෞද්ධ ථේරවාදී රටවල් අතර මූලිකත්වය ගන්න ප්‍රධානත්වය ලැබෙන අපේ රටේ වගකීමක් හැටියට එක පැත්තකින් සඳහන් කරන්න පුළුවන්. මෙත් සිත් අරණ අන්තර්ජාල විකාශය තුළින් ඒ විදියට සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්ම ඒ අයට යම් ආකාරයකින් මේ දහම් දැනුම ලබා ගැනීමට අවස්ථාව උදා කරන්නට පුළුවන් නම් එය මේ ආයතනයේ ලොකු වගකීමක් හැටියට දකින්න පුළුවන්. නූතන ලෝකයේ අවශ්‍යතාවයන් පිළිබඳව මනා අවබෝධයක් තිබෙන අනූෂ පැල්පිට සභාපතිතුමා ඒ වගේම කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රි මැතිතුමා අපේ රටෙන් සමාජයට ලෝකයට තොරතුරු දිය හැකි ශ්‍රේෂ්ඨතම දේ හැටියට වස්තුව හැටියට ධනය හැටියට බුදු දහම මේ විදියට නවීන තාක්ෂණය උපයෝගී කරගෙන ලබා දීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත් කාලෝචිත ක්‍රියාවක් හැටියට අපි දකිනවා.

අපේ සමාජය අද බොහෝම සංකීර්ණ තත්ත්වයට පත්වෙලා. යම් දෙයකට කාලය කැපකර ගන්න අපහසු තත්ත්වයකට පත්වෙලා කෙටි කාලයකින් යමක් දැන ගැනීමට උත්සාහ කරන යුගයක මේ ආකාරයට කෙටි කාලයක් තුළ වැදගත් යමක් දැනගන්නට අවස්ථාව ලබා දීම ඉතාමත්ම වැදගත් දෙයක් හැටියට දකින්නට පුළුවන්. මුළු ලෝකයම අල්ලක පවතින යුගයක අල්ලේ පවතින හැන්ඩ් ෆෝන් එකෙන් මේ විදියට යම් කිසි කරුණක් පිළිබඳව අවබෝධයක් දැනුමක් ලබා ගන්නට අවස්ථාව සැලසීම ඉතාමත්ම වැදගත් දෙයක්. මේ අලුතින් පනින පිම්ම ඉතාමත්ම සාර්ථක වෙනවා නොඅනුමානයි. බුදුසරණ පත්‍රය මහා විශ්වකෝෂයක්. එය බෞද්ධයන් අතර ඉතාමත්ම පුළුල් ලෙස ප්‍රචලිත වෙලා පවතින විශ්වාසය දිනා ගනිපු පුවත්පතක්. එහි කර්තෘතුමිය ඉතා විශාල උත්සාහයක් ගන්නවා බුදු දහමේ හැම පැත්තක්ම ආවරණය වන පරිදි ඒ ලිපි සම්පාදනය කරලා පාඨකයන් අතට පත් කරන්න. ඒ වගේම හේමමාලා රන්දුනු මැතිනිය. මේ නව ක්‍රමවේදය බුදු දහමේ වැදගත් හරයන් පාඨකයාට ලබා දීමට කටයුතු කිරීමට යොදා ගැනීම අගය කළ යුත්තක්.

අනුරාධපුර පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පාතේගම ඤාණිස්සර නාහිමියෝ...

වර්තමාන සමාජයේ තාක්ෂණික සන්නිවේදන මාධ්‍ය අතර පුවත්පතට වඩා අද නව මාධ්‍ය ඉදිරියෙන් සිටින කාලයක්. ජනමාධ්‍යයත් අබිබවා නව මාධ්‍යය ඉදිරියෙන් සිටින කාලයක්. එහෙම කාලයක බුදුසරණ පුවත්පතට අමතරව මෙත් සිත් අරණ අන්තර්ජාල විකාශය ආරම්භ කිරීමයි අද මේ මොහොතේ සිදු කරන්නේ. සමාජ විපරිණාමයත් සමඟ සමාජයේ ඇති වෙන්නා වූ නව නව අලුත් ක්‍රම අනුව අපේ සමාජයට ධර්ම සන්නිවේදන විධි ක්‍රම අවශ්‍ය ‍ෙවලා තිබෙන කාලයක්. “තථාගතප්ප වේදිතෝ ධම්ම විනයෝ ඉධකෝ විරෝචතී නෝපටිච්චන්නෝ” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තාථගතයන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය විවෘත වෙන්න විවෘත වෙන්න ඒ ධර්මයට අනුගතව මිනිසුන් ජීවත් වෙන්න ජීවත් වෙන්න ධර්මයේ ආලෝකය ප්‍රභාවය මතුවෙනවා කියන එකයි ඒ පාලි පාඨයේ තේරුම. ඒ නිසා විශේෂයෙන්ම මේ නව මාධ්‍යයත් සමඟ ධර්ම සන්නිවේදන ව්‍යාපෘතියක් ආරම්භ කිරීම ලේක්හවුස් ආයතනයේ නවමු අත්දැකීමක්. ලේක්හවුස් කියලා කිව්ව ගමන්ම අපි දකින්නේ පුවත්පත.

අද අපි මේ පා තබන්නේ පුවත්පතින් ඔබ්බට. මට කලින් සභාව මෙහෙයවපු මහත්මයා කතා කළා, ඇතැම් අය කියනවා ටික් ටොක්වලින් ධර්ම සන්නිවේදනය හොඳ මදියි කියලා. දැන් සාමාන්‍යයෙන් අපේ සමාජයේ අපිට හැමදාමත් එළිය දී තිබෙන්නේ අපි හොඳ මදියි කියපු අය. හොඳ නැහැයි කියපු අය. මොකද හොඳ නැතිකමත් හොඳකමත් අතර හැමදාම ගැටුමක් තිබෙනවා. සත්‍යයත් අසත්‍යයත් අතර හැමදාම ගැටුමක් තිබෙනවා. ඒ නිසා මම කල්පනා කරනවා මෙය ඉතාමත් උදාර සංකල්පයක් උතුම් සංකල්පයක් කියලා. හැබැයි ලේක්හවුස් ආයතනය මම ගොඩක් කල් ඉඳන් දන්න, අපි පුංචි කාලේ ඉඳන් මිහිර පත්තරේ කියවලා ලේක්හවුස් එකේ පත්තරත් සමඟ ජීවත් වෙච්ච අය හැටියට මම දකින එක කාරණයක් තිබෙනවා.

බුදුරජාණන් වහන්සේගේ දර්ශනයේ තිබෙනවා පටන් ගන්න කරන්න ඉවර කරන්න කියලා කතාවක්. අපේ සමාජයේ ගොඩක් අය පටන් ගන්නවා කරන්නෙත් නැහැ ඒ හින්දා ඉවර වෙන්නෙත් නැහැ. සමහර අය කරනවා කරනවා ඉවරයක් නැහැ. අපේ සිසිර පරණතන්ත්‍රි මහත්මයාට පුවත්පත් ක්ෂේත්‍රයේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ මහා අත්දැකීම් සම්භාරයක් තිබෙනවා. එතකොට මේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා අනූෂ පැල්පිට මහත්මයා දේශපාලන ක්ෂේත්‍රයේත් සමාජ සංවර්ධන ක්ෂේත්‍රයේත් බොහෝ අත්දැකීම් තියෙන අය. ඒ නිසා ඒ ඇත්තන්ගේ අවවාද අනුශාසනා සහිතව මේ අන්තර්ජාල වැඩසටහන ඉතාම නවීන ක්‍රම, තාක්ෂණික ක්‍රම අනුව අරගෙන යන්න කියන අවශ්‍යතාවය මම දකිනවා. ඒ වගේම අපේ හේමමාලා රන්දුනු මහත්මියත් යමක් පටන් ගත්තාම එය ඔස්සේම ඉන්න කෙනෙක් නිසා අනිත් අයගේ සහයෝගයත් ඇතිව මේ කටයුත්ත ඉතාම සාර්ථකව ඉෂ්ට සිද්ධ කරන්නට කියන එක මම මේ අවස්ථාවේදී සියලු දෙනාට මතක් කරනවා.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති අනූෂ පැල්පිට මහතා:

ඇත්තටම රුපියල් පනස්දාහක හැටදාහක කොළ ගන්නට රුපියල් ලක්ෂ පහළොවක් ගියා. ඇත්තටම ආයතනය බේරා ගන්න තමයි එවකට තිබුණු පාලනාධිකාරිය යම් යම් තීන්දු ගත්තේ. මම ඒක වැරැද්දක් කියලා දකින්නේ නැහැ. නමුත් බුදුසරණ කියන පුවත්පත මගේ ආශාවක් තිබෙනවා ලබන වසරේවත් සති හතරට හතරක් නිකුත් කිරීමේ ආශාවක් තිබෙනවා. අපි බලනවා කොහොමද ඒක කරන්නේ කියලා. ඒක තමයි මගේ ප්‍රමුඛ ආශාව. තාක්ෂණයේ දියුණුවත් එක්ක අපේ හාමුදුරුවනේ මම 2007 විතර ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා වෙලා හිටියා මාස කිහිපයක්.

ඒ අවස්ථාවේ තමයි උදේ හවස බණ පටන් ගත්තේ. එතකොට ලොකු විරෝධයක් ආවා නායක හාමුදුරුවොත් ඇවිල්ල මට කෑගැහැව්වා ඒවා කරන්න පුළුවන් වැඩ ද කියලා. නමුත් අද සියලුම චැනල්වල පාවිච්චි කරන්නේ ඒ ක්‍රියාමාර්ගය තමයි. ටික් ටොක් කිව්වාම මහා අමුතු ජුගුප්සාජනක දෙයක් තමයි මතකයට එන්නේ. කාන්තාවන් නටනවා පිරිමි නොයෙක් දේවල් කරනවා. නමුත් ඒ තාක්ෂණය අපිට පාවිච්චි කරන්න පුළුවන් යහපතට. අන්තර්ජාලය කියන්නේ සීමා රහිත තැනක්. අපේ වැදගත් දේවල් සාමාන්‍යයෙන් විශ්‍රාම ගත් කෙ‍ෙනකුට දවසට පැය හතර පහ තියෙනවා දවසට. නමුත් කාර්යබහුල සමාජයට කාර්යබහුල අයට එහෙම වෙලාවක් නැහැ. නමුත් බුදු දහමේ ඉතාමත් නිවැරදි පණිවිඩ ගන්න, විනාඩි දෙක තුන ඇති පණිවිඩය ඔළුවට දාගන්න. ඒ අවස්ථාව තමයි මේ නිර්මාණය කරලා තිබෙන්නේ. රන්දුණු මැතිනියට බොහොම අත්දැකීම් තිබෙනවා.

අලුත් අත්දැකීමක් මේ මෙත් සිත් අරණ අන්තර්ජාල විකාශය. මම හිතනවා ඒක සාර්ථක වෙයි කියලා.

බුදු දහමට නැඹුරු වෙච්ච බොහෝ කණ්ඩායම් මේ රටේ ඉන්නවා. අපේ ආදි කර්තෘතුමා ඩි.ආර්. විජයවර්ධන මැතිතුමා බෞද්ධ පරිසරයකින් ආපු නායකයෙක්. අපිට ලොකු වගකීමක් තිබෙන්න ඕන ඒ සිංහල බෞද්ධ වගකීම ආරක්ෂා කර ගන්න. මේ රටේ අනිකුත් ජාතීන්ටත් තමන්ගේ අයිතිය ලබා දෙන ගමන් සිංහල බෞද්ධ උරුමය ආරක්ෂා කර ගෙන ඉස්සරහට යන්න. මම විශ්වාස කරනවා අද පටන් ගත් මෙත් සිත් අරණ අන්තර්ජාල විකාශය, ටික් ටොක් හෝ මොකක් හරි වේවා අපිට ධර්මය මිනිසුන්ට අවබෝධ කර ගන්න ව්‍යාපාරික පරමාර්ථයෙන් තොරව සමාජ පරමාර්ථයෙන් සිදු කරන අපේක්ෂාවක් නිසා එය සාර්ථක වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.

මේ අවස්ථාවට ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රි, මූල්‍ය අධ්‍යක්ෂ මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල, රාජ්‍ය සබඳතා ප්‍රධානී හා කළමනාකරණ කර්තෘ සමන්ත කරුණාසේකර, බුදුසරණ කර්තෘ රමණි සුබසිංහ, නියෝජ්‍ය කර්තෘ හේමමාලා රන්දුනු, යන මහත්ම මහත්මීහු මෙන්ම ආයතනයේ උසස් නිලධාරීන් කර්තෘ මණ්ඩල සාමාජික සාමාජිකාවෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.